ඉතිහාසය ගොඩනැඟීමත් ඊට යටත්වීමත් එකක් නොව, හාත්පසින් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි. මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමන් කළ යුතුදැයි කෙරෙන අදෘශ්‍යමාන නිහඬ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි. ‘ආරාමදාස’ නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනී සමාජයන් කලඹමින් මතුවන උක්ත විවාදයේ සලාවැටුමයි. සලාවැටුමක් හෙවත් දියසුළියකට හසුවන බොහෝ දෑ එය විසින් දියෙහිපත්ලට ඇදගන්නා අතර ඇතැම් ශක්තිමත් දෑ ඒ රුදුරු ඉරණමින් ගැලවී ගංගාවත් සමඟ ඉතිහාසය හරහා නිදහසේ ගමනේ යෙදෙයි.
ග්‍රීක මිථ්‍යා කතාවන්හි එන ඇට්ලස්ට ලෝකය ඔසවාගෙන සිටීමේ කාරිය පැවරී ඇත්තා සේ ලාංකේය වාමන හෙවත් බහිරවයින්ට පැවරුණු කාරිය වන්නේ අතීත සමාජ සංස්කෘතික බරබද්දර ඔසවා සිටීමය. රාජ්‍ය සහ ආගම විසින් ඒ සඳහා හීලෑ කරනු ලැබ ඇති මේ දුක්ඛිතයන් ලේඛකයා දකින්නේ පැරණි සිංහල සමාජයේ විසූ පුදන ලද දාසයන් හෙවත් ආරාමදාසයින් ලෙසිනි. ආරාමදාසයෝ එදත්
අදත් අප අතර වෙති. ඇතැම් දාසයින්ට දාසභාවය පදක්කමක් වෙද්දී තවත් පිරිසකට එය උරචක්‍රමාලයක් වෙයි. උරචක්‍රමාලය යනු මිණියෙන් සැදි දැළිපිහියක මුවාත් ඇති පැලඳි ගෙල කපා බස්නා ආභරණයකි. මේ නවකතාව මේ සියලු කාරණා තුළ ඔබේ භූමිකාව කුමක්දැයි ප්‍රශ්න කරයි.