“එකම ගඟට දෙවරක් බැසිය නොහැකි ය.”
මෑතකාලීනව මා කියවූ සිංහල ස්වතන්ත්‍ර නවකතා අතරින් නවකතාවක් රසවිඳීමේ පූර්ණ තෘප්තියක් මට ලබාදීමට සමත්වී යැයි හැඟී ගිය නවකතා කීපයකි. “කාල නදී ගලා බසී” කෘතිය ද ඒ අතරින් එකකි. කලක පටන් ඒ පිළිබඳව සටහනක් තැබීමට මා අදහස්කරගෙන සිටියේ ද ඒ නිසාවෙනි.
මා දකිනා අන්දමට කාල නදී ගලා බසී යනු හුදු නවකතාවකට වඩා ජීවිතය පිළිබඳව ගැඹුරු කරුණු අකුරු කිරීමකි. “කාල නදී ගලා බසී” යන එම නාමය මෙකී කෘතියට කොපමණ හොඳින් ගැළපෙන්නේ ද යන්න මනාව වටහාගත හැකිවන්නේ එය කියවාගෙන යෑමේදී ය. ඒ නම ඊට ලැබී ඇත්තේ එයට පසුබිම් වූ පරිසරය හේතුවෙන් පමණක් නොවේ යැයි මට හැඟේ. මන්ද ගංගාවක මතුපිට ජලය මතින් ඔබ්බට ගොස් එහි අභ්‍යන්තරයේ ගැඹුර විනිවිද දකින්නා සේ මෙම නවකතාව කියවීමේදී මා ද එහි අකුරු මතින් ජීවිතයේ ගැඹුර ස්පර්ශ කළ බැවිනි. කාල නදිය ගලාබසින්නේ මෙකී නවකතාවේ පාත්‍ර වර්ගයාගේ සුඛ දුක්ඛ සමුදායන්ගෙන් පිරුණු ජීවිතවල කතා පුවතත් සමගිනි.
“සාදිරිස්”
සාදිරිස්ගේ චරිතය වූ කලී මා මහත් ආශාවෙන් සහ නොතිත් කුතුහලයෙන් යුතුව මගේ සිත නමැති පර්යේෂණාගාරය තුළ විච්ඡේදනය කර බැලූ අපූරු චරිතයකි. කාල නදිය හා ඒකාත්මික වෙමින් ගලාගිය ඔහුගේ ජීවිතය මට නිතැතින්ම සිහියට නැගුවේ එච්. එම්. කුඩලිගමගේ “ගංගාවේ ගීතය” පද්‍ය පන්තියේ එන ප්‍රකට පැදියකි.
“හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
ගල්පරවලම හැපි හැපි බිහිකරමි මම
සම තැනිතලාවල මතුවෙයි අලසකම
නිරසයි අතරමග බාධක නුදුටු බිම”
සාදිරිස් එකම ගඟට දෙවරක් බැසිය නොහැකි බව හොඳින්ම දැන සිටියේ ය. යා යුත්තේ ගඟ දිගේ පහළට මිස ආපස්සට ඉහත්තාව දිගේ නොවන බව ද, අතරමගදී හමුවන බාධකවලට මුහුණදිය යුතු අන්දම ද මනා අධ්‍යාපනයක් නොලැබූව ද ජීවිතය පිළිබඳව සහජ බුද්ධියෙන් සහ ඉවෙන් යුතුව ඔහු හැඳිනගෙන සිටියේ ය. තණ්ඩලේ ඔහුට ඒ සඳහා කදිම මගපෙන්වීමක් විය. ඔහු ජීවිතය මනා සරසවි තක්සලාවක් බවට පත්කරගත්තේ ය.එනයින්ම කදිම හුරුබුහුටි ජීවිත පරිඥානයකට හිමිකම් කීවේ ය. එදා ඇඳිවත පිටින් කාල නදියට බට කුඩා කොල්ලා වැඩුණු මිනිසෙකු බවට පත්වන තෙක් ජීවන ගංගාව හරහා සිය පාරුව පැදයාමට ඔහුට උපකාරී වූයේ එලෙස ජීවන තක්සලාවෙන් ඔහු උකහාගත් අත්දැකීම්වලින් හුරුබුහුටි කරන ලද සහජ ඉව සහ පරිඥානය යි.
සාදිරිස්ගේ චරිතය වූ කලී සිය කතා සන්දර්භය තුළ කතුවරයා විසින් ප්‍රධාන චරිතය ලෙස අළු චරිතයක් මනාව හසුරුවාගැනීමක් ලෙස මම දකිමි. පැහැදිලිව වෙන්කර දැක්විය හැකි කළු හෝ සුදු චරිත හැසිරවීමට වඩා කතා සන්දර්භයක් තුළ අළු චරිතයක් හැසිරවීම අපහසු කරුණකි. මන්ද කතා සන්දර්භය තුළ විවිධ අවස්ථාවන්ට අනුකූලව ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණයන් විවිධ අයුරින් නිරූපණය කිරීම අපහසු කරුණක් වන බැවිනි. මෙහිදී කතුවරයා එම අභියෝගය සාර්ථක ලෙස ජයගෙන ඇති අන්දම අපට දැකගත හැකිය.
කතාවක වීරයා සුදු චරිතයක් වනු දැකීමට අපි බොහෝවිට කැමැත්තෙමු. නමුත් සම්පූර්ණයෙන්ම සුදු හෝ සම්පූර්ණයෙන්ම කළු චරිත සහිත මිනිසුන් ජීවිතය තුළදී අපට හමුනොවේ. යථාර්ථය වන්නේ එය යි. මිනිසුන් මේ දෙවර්ණයේම අඩුවැඩි වශයෙන් වන සංකලනයකි. කතුවරයා සාදිරිස්ගේ චරිතය තුළින් විදහා දක්වන ජීවන යථාර්ථය වන්නේ ද එය යි. නවකතාවේ සෙසු චරිත ද සාදිරිස්ගේ චරිතයට ආලෝකය එක්කරමින් ඒ වටා සිහින් හුයකින් බැඳී ඇති පරිද්දෙන් කතුවරයා නිරූපණය කර ඇත. බොහෝදෙනෙකු ප්‍රියකරන වීරයෙකු මෙන් සුදු චරිතයක් නොවූව ද සාදිරිස්ගේ චරිතයේ අළු බව සීන් පාන්කඩයකට හොඳින් තෙල් උරාගන්නාක් මෙන් පාඨක හදවත්වලට තදින් කිඳාබැසීමට සමත් ය. එලෙස හොඳින් තෙල් උරාගන්නා පාන්කඩය දැල් වූ කල මනා ලෙස ආලෝකය විහිදුවමින් දැල්වෙන්නාක් මෙන් සාදිරිස්ගේ චරිතය එලෙස පාඨක හදවතට උරාගත් අළු බව තුළින් පුළුල් ජීවනදෘෂ්ටියක් පිළිබඳව ප්‍රබල ආලෝකයක් දැල්වීමට සමත් ය.
කාල නදී ගලා බසී වූ කලී ජීවිතයේ ගලායෑම මෙන්ම ජීවිතය තුළ ප්‍රේමයේත්, වෛරයේත්, තෘෂ්ණාවේත් හස්තයන් කොතරම් දිගුවිය හැකිද යන බව සහ එම හස්තයන් මිනිස් ජීවිතවලට කරන බලපෑම පිළිබඳව කදිම ලෙස නිරූපිත නවකතාවකි. කෙටියෙන් කියතොත් මෙය ප්‍රේමය, වෛරය, තෘෂ්ණාව, ත්‍රාසය, භීතිය, කුතුහලය ආදී සියලුම හැඟීම්වලින් පරිපූර්ණ නවකතාවක් වන අතර එම සියලුම හැඟීම්වල වර්ණයන් මෙහි අන්තර්ගත ය. මෙය ජීවිතය පිළිබඳව කියවීමක් ලෙස මා හඳුන්වන්නේ එබැවිනි. අපූරු සිනමාරූපී බවක් දැකිය හැකි මෙම නවකතාව තුළින් බිහිවන සිනමා නිර්මාණයක් හෝ ටෙලි නිර්මාණයක් ප්‍රේක්ෂක සිත් තදින් ඇදබැඳගත් අපූරු රූපකාව්‍යයක් බවට පත්වනු නොඅනුමාන ය.
මෙම නවකතාවෙහි ලා උපයුක්ත භාෂාව ද අපූරු ය. කදිම ය. මටසිලිටි ය. කාල නදිය විවේකීව ගලාබසින්නාක් මෙන් එය ද ලතාවකට රාව නංවමින් ගලා බසියි. අපූරු චිත්ත රූප මවන සුළු නිර්මාණාත්මක වර්ණනයන්ගෙන්, අපූරු යෙදුම් සහ උපමා ආදියෙන් පෝෂිත මෙම නවකතාව සිංහල භාෂාවේ කලාත්මක ශිල්පීය පක්ෂය පිළිබඳව කතුවරයා සතු දැනුම, අත්දැකීම් සහ කුසලතාවය ප්‍රකට කරවන්නකි.
“ආරුක්කුවේ වසා සිටින තණකොළ සහ රතු පැහැයෙන් යුතු විචිත්‍ර පිළිහුඩුවෝ භාවනානුයෝගීව සිටින්නේ ගං දියේ මත්ස්‍යයෙකුගේ සියුම් චලනයක් දකින තුරු පමණි. සැණෙකින් ගං දියට කඩාපාත්වන සොඳුරු දඩයක්කරුවා තමා ඉලක්කකරගත් ගොදුර සාර්ථකව දඩයම් කරගනී.
මොහොතකට පෙර හීතල දිය රැලි අතර සිත් සේ සැරිසැරූ අහිංසකයා පිළිහුඩුවාගේ ප්‍රණීත ආහාරයක් බවට පත්වන්නේ ඇසිපිය සැලෙන ඇසිල්ලකිනි.
ගං ඉවුරේ නොගැඹුරු තැනක වැතිර නිදන වල් ඌරු රංචුවක් පාරුවේ හබල් හඬින් කලබලව ඉවුර අද්දර වන රොදට කඩාවදින්නේ ගං ඉවුරු දිය කලඹවමිනි.
ගං ඉවුර බෝලිද්ද, බෝවිටියා, රතඹලා, රුක්අත්තන, නියපිරිත්තන ආදී නන්වන් මල් වදුලින් සුසැදිව මනාලියක අත රැඳි මල් පොකුරක් සේ සිනාසෙයි.
ගඟට ඉහළින් සැදි ජීවමය හරිත පැහැති ආරුක්කුවේ ඇමිණූ ස්වර්ණමය කරාබු යුගලයක් බඳු කහකුරුලු යුවළක් මියුරු සරින් තෙපලන පෙම්බස් කිසිවෙකුටත් රහසක් නොවේ. දෙදෙනාගේම අපේක්ෂාව හෙට අනිද්දාම එක් කැදැල්ලක එක්තැන් වීම විය යුතු ය.
පාරුව මේ අසිරිමත් සිහින නදී ජල ධාරාව මතින් සෙමෙන් මහත් වූ ප්‍රෞඪ රූපකායෙන් ඇදී යයි. පාරු තල්ලේ වැදෙන සිහින් රළ රැළි බිඳී විසිරෙනුයේ නදී අඟන කොමළ හසරැළි නගන්නාක් සේ ය.”
මේ තරම් රමණීය ලෙස චිත්තරූප මැවෙන සුළු අන්දමින් පරිසරය වර්ණනාකරන කතුවරයා ඒ තුළින් ද ධ්වනිතවත් කරන්නේ ජීවිතය පිළිබඳව දහමකි.
කාල නදීහි භාෂාව ධ්වනිපූර්ණ ය. ව්‍යංග්‍යාර්ථයන්ගෙන් අවස්ථා නිරූපණයන්ට අදාළව රසවත් ලෙස අරුත් සම්පාදනය කිරීමට සමත් ය. එය කලාත්මක ලෙස භාෂාව හැසිරවීමෙහි ලා කතුවරයාගේ නිපුණත්වය විශද කරවයි.
“යළිත් වරක් අර මොළකැටි කොපුල්තල මත රෝස පැහැයක් ඉහිරී ගියේ ය. මේ මියුලැසිය අඩුවෙන් කතාකරන, තේරුම්ගන්නට බැරි ගැටවරයාගේ කටහඬ අසන්නට ලොල්වූවා ය. ඇයට ද අන් අය මෙන් හිස ඔසවා ඔහු දෙස විවෘතව බලන්නට ඕනෑ විය. එහෙත් කළුතර කොන්වන්ට් එකේ විනය පාලිකා මේරි ඇග්නස් මව්තුමිය ඇය හමුවේ සිටගෙන සිටියා ය. කන්‍යාරාමයේ ඉගෙනුම ලබන සියලුම සිසුවියෝ ඇයට මහත් සේ බිය වූහ. ඇගේ විනය පද්ධතිය දස පනත තරම්ම බලවත් ය.
එහෙයින් සුවච කීකරු යුවතිය සිටින්නී අඟුලේ එළූ රටා පැදුරේ හංස ආලිංගනය බලමිනි.”
අපූරු සංකේත භාවිතයක් ද මෙම නවකතාව තුළ දී අපට දැකගත හැකිය. කතුවරයා පවසන පරිදි සිසිලියානා වූ කලී සාදිරිස්ට දෝතලු මලකි. ඔහුගේ බිරිය වූ සැලී නෝනා බෝ කොළ හැඩැති මුහුණක් ඇත්තියකි. දෝතලු මල සහ බෝ කොළ හැඩැති මුහුණ ඉතා අපූරු ලෙස මෙම ස්ත්‍රීන් දෙදෙනාගේ එකිනෙකට වෙනස් චරිත ලක්ෂණයන් පිළිබඳව ද, සාදිරිස්ගේ ජීවිතය තුළ ඔවුන් දෙදෙනා සිදුකළ එකිනෙකට වෙනස් බලපෑම් සහ එහි ඔවුන්ට හිමිවී තිබූ එකිනෙකට වෙනස් ස්ථානයන් පිළිබඳව ද සංකේතවත් ලෙස පාඨකයා තුළ අපූර්ව හැඟීම් දැනවීමට සමත් ය.
නවකතාව රචනයේදී වියරණයන් පිළිබඳව කතුවරයා දක්වා ඇති සැලකිල්ල ද අගය කළ යුතු ය. බොහෝ ලේඛකයන් අතින් වියරණ පිළිබඳව සැලකිල්ල ගිලිහී තිබීම මෑතකාලීන නවකතා තුළ දී මට බහුලව දැකගත හැකි විය. මා මෙය මෙහි විශේෂයෙන්ම සඳහන්කරන්නේ ද ඒ නිසාවෙනි. ලේඛකයා බසෙහි හෝ වියරණයෙහි වහලෙකු විය යුතු බවක් මෙහිදී මම කිසිසේත්ම අදහස් නොකරමි. නමුත් අවැසි තැන්හිදී පරිහරණය සඳහා නොවේ නම් භාෂාවකට වියරණයක් තිබීම අවශ්‍ය නොවේ. වියරණ පිළිබඳව නොයෙක් මතිමතාන්තර ඇතත් වැඩිදෙනකු පිළිගත් භාෂාවට ක්රමානුකූල සැකැස්මක් ලබාදෙන සම්මත මූලික වියරණ රීති මාලාවක් භාෂාව තුළ පවතී. තම ලේඛන ශෛලියට අදාළව ඒ පිළිබඳව ලේඛකයෙකු අවධානය යොමු කළ යුතු ය.
සාහිත්‍යයේ මෙවලම භාෂාවයි. වියරණ වූ කලී භාෂාවේ ක්රමානුකූල විධිමත් සැකැස්මට මෙන්ම පැවැත්මට උපකාරී වන්නකි. විශේෂයෙන්ම ගද්‍ය නිර්මාණයන්හිදී ඒ පිළිබඳව අවධානය යොමුවිය යුතු යැයි මම සිතමි. සිය නිර්මාණයන් තුළ ක්රමානුකූල අන්දමින් වියරණය භාවිතාකර තිබීම ද භාෂාව සාහිත්‍යය තුළ මෙවලමක් ලෙස හැසිරවීමේදී නිර්මාණකරුවා සතු කුසලතාවය පිළිබිඹු කරවන්නකි. නමුත් මෑතකාලීනව මා හට කියවීමට ලැබුණු සමහර නවකතා තුළ එලෙස භාෂාවේ සම්මත මූලික වියරණ රීතීන් පවා නොසලකා හැර තිබීමත්, ඒවායින් සමහරක් සම්මානයන් සඳහා ද නිර්දේශ වූ නවකතා වීමත් මා පුදුමයට පත්කරවී ය. ඉංග්‍රීසි භාෂාවේ වියරණ වරදවා කතාකරන හෝ ලේඛනයේ යෙදෙන අයවලුන් දකින අපි ඔවුන්ව උපහාසයට ලක්කරමු. නමුත් අපගේ මව් භාෂාව වන සිංහල භාෂාවේ වියරණ පදනම් විරහිතව නොසැලකිලිමත් ලෙස නිර්මාණයන් තුළ හැසිරවීම සම්බන්ධව කතා නොකරමු. එය කොතෙක් දුරට සාධාරණ ක්‍රියාවක් දැයි අප සිතා බැලිය යුතු ය.
මෙම නවකතාවේ පිටකවරය ද අතිශයින්ම මාගේ සිත්ගත් එකකි. ප්‍රේම් දිසානායකගේ පිටකවර නිර්මාණයක් වන මෙය කලාතුරකින් දැකිය හැකි අන්දමේ නවකතාවට අදාළව කියවිය හැකි පිටකවරයකි. නවකතාවේ ඇතුළත මෙන්ම පිටකවරය ද කියවිය හැකි ය. කෙටියෙන් කියතොත් එය නවකතාවේ එක් පැතිකඩක් හකුළුවා දැක්වීමක් ලෙස හඳුනාගත හැකි ය. එහි දැක්වෙන පුරුෂ රූපය සාදිරිස් ලෙස ද ඔහුගේ ළය සමීපයෙහි සිටින ගැහැනු රූපය සැලී නෝනා ලෙස ද, ඉන් මඳක් ඔබ්බට වන්නට නිරූපිත ගැහැනු රුව සිසිලියානා ලෙස ද මම හඳුනාගතිමි. සාදිරිස්ගේ ළයට සමීපයෙන් සිටින ඔහුගේ බිරිය සැලී නෝනාගේ මුහුණ පිරිපුන් ලෙස නිරූපිත ය. ඇය අසළ පිපුණු මලකි. ඉන් මඳක් ඔබ්බෙහි ඇති සිසිලියානාගේ මුහුණ නිරූපණය කර ඇත්තේ අර්ධ වශයෙනි. නමුත් සාදිරිස්ගේ දෙනෙත් මේ දෙදෙනාගෙන් කිසිවෙකු වෙත යොමු වී නැත. ඒ මුහුණේ කිසිදු හැඟීමක් පැහැදිලිව හඳුනාගත නොහැකි ය. ඒ වෙනුවට ඔහුගේ ඇස් ඉන් ඔබ්බෙහි කොහේදෝ දුර ඈතක් වෙත කේන්ද්‍රගත වී ඇත. ගැහැනුන් දෙදෙනාට මැදිව ඔහු ජීවිතයේ ගව් ගණනාවක් දුර ඉදිරියට නෙත් යොමාගෙන සිටියි. මේ සියල්ල නවකතාව තුළ දිවෙන කතා සන්දර්භය පිළිබඳව කදිම සංකේතාත්මක අරුතක් සම්පාදනය කරයි.
“කාල නදී ගලා බසී” වූ කලී කලාත්මක ලෙස කතා රසයත් සමගින් පුළුල් ජීවන දෘෂ්ටියක් පාඨකයාට ලබාදෙන ප්රශස්ත මට්ටමේ ලා සැලකිය හැකි නිර්මාණයකි. ඉඳින් එහි පාත්‍ර වර්ගයා සමග ඒකාත්මික වෙමින් කාල නදිය ඔස්සේ යාත්‍රා කිරීමට මම ඔබට ඇරයුම් කරමි.