කලෙකින් ඇසුණෙ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන. ඒ හඬේ තියෙන්නෙ වෙන කවදාවත් නැති ශෝකයක්. රත්නාවලි හිමින් සැරේ කාමරේ ජනේලෙ ඇරය. හඳ එළිය වැටිල මිදුලෙ රටා ඇඳල ගස්වල සෙවනැලිවලින්. රෑ කුමාරි මල් සුවඳ හුළඟත් එක්ක එනව. හෙමින් ගස්වැල් හෙලවෙන්නෙ හරියට මහා දුකකින් වගේ. හෝරා බාගයක් විතර වස්දඬු රාවෙ ඇහිල හිමින් නැතිව ගියා. රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිල ඒ කඳුළු බේරුණා කම්මුල් දිගේ. ශෝකයක් ද විරහවක් ද මොකද්ද කියාගන්න බැරි දුකකින් රත්නාවලිගේ හිත බරවෙලා.