සඳ එළිය දීප්තිමත් රිදී පැහැයෙන් දිලිසෙන රාත්‍රියක් උදාවී ආවේය. භූමිය තෙරක් නොපෙනෙන සුදු පැහැයක් බවට පත්වී තිබූ අතර සුළඟ නිශ්චල විය.
සෑම ජනේලයකටම ඔබ්බෙන් සුදු පැහැති ලෝකය දිලිසෙන හිම මතින් ඈත ඈතට විහිදී ගොස් තිබූ අතර අහස ආලෝකය පිරුණු වක්‍රයක් මෙන් විය. කිසිවක් කිරීම සඳහා හිත එකලස් කරගැනීමට ලෝරාට නොහැකි විය. ඈට සෙල්ලම් කිරීමේ ඕනෑකමක් නොවීය. ඈට අප්පච්චිගේ රවුකිඤ්ඤයේ සංගීතය පවා නෑසුණු තරමි. ඈ තුළ නැටීමේ ප්‍රියතාවක් නොවීය. එහෙත් ඉක්මනින් ගමන් කිරීමේ උවමනාවක් ඈ තුළ ඇති වී තිබිණි. ඈ කොහේ හෝ යා යුතුය.
එක්වරම ඇය, “කේරි! අපි අයිස් උඩ ලිස්සන්න යමු!” යි හඬ නගා කීවාය.
“මේ රෑ, ලෝරා?” අම්මා පුදුමයෙන් ඇසුවාය.
“මිදුල හරි එළියයි,” ලෝරා පිළිතුරු දුන්නාය. “හරියට දවල් වගේ.”
“ඒකට කාරියක් නෑ, කැරොලින්.” අප්පච්චි කීවේය. “ඒගොල්ලන්ට අනතුරක් කරන්න මුකුත් නෑ. වැඩි වෙලාවක් එළියෙ හිටියෙ නැත්තම් හීතලට ගල් වෙන්නෙත් නෑ.”
ඉතින් අම්මා, “ඉක්මනට දුවලා එන්න එහෙනං. සීතල වැඩි වෙනකං ඉන්න එපා,” යි ඔවුන්ට කීවාය.