මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එක්ක් නෙවෙයි. මේ ආනන්දනීය තත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලයක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දික් විඳලා තියෙනවා. මැතිණියගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ළඟින් කොට මට එකොළහයි. ගමේ පන්සලට ගියේ නම්පොත, සකස්කඩ බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.
ඔය හිතන හැත්තෑ ගණන වල ඒක අකරතැබ්බයක්,, අපචාරයක් ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නෑ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලන් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා පපුව හත් කඩකට පැලිලා එවෙලේම පොළොව පළාගෙන නිරයට යන දිට්ඨ ධම්ම වේදනීය පාපකර්මයක් කියලා විතරයි.
අවුරුදු දහතුනක පොඩි කොල්ලෙක් කොහොද එහෙම තීරණාත්මත රහසක් රකින්නේ. පවුලේ කවුරු හරි දැනගත්තා නං සහසුද්දෙන්ම වැරදිකාරයා වෙන්නේ මම. ඒ කාලේ එහෙම තමයි.දැන් කියලා වැඩි වෙනසක් ඇත්තෙත් නැහැනේ. ඉතිං මං අපේ වත්ත පහළින් ගලාගිය මහවැලි ගඟේ ගල්පර අතරේ. ගේ ඉස්සරහ ශාන්ත ජෝන් පල්ලියේ අල්තාරය පිටිපස්සේ, රේල් පාරට එපිටින් වහලවෙල කැරකෝප්පුවේ රූස්ස ගස් අතරේ තනිවී මගේ කතාව මටම කියා ගත්තා.