නිවාඩු දිනයක උදෑසන අවදි වෙද්දී යහන අසල පුටුවක වාඩිගෙන ඇය මදෙස බලා සිටියාය. මදෙස බලා සිටීමට හේතුව කුමක්දැයි ඇසූ විට ඇය කළේ යහනට ගොඩ වි මගේ තුරුලට වැදීම පමණකි. ඇතැම් විට හිම වැටෙන දිනක, සුළං හමන වැසි වැටෙන දිනෙක, ග්‍රීෂ්ම හිරු බැබළෙන දිනක ඇය කල්පනාවේ නිමග්නව කවුළුවෙන් පිටත බලා සිටිද්දී ඔයා මොනවා ගැනද කල්පනා කරන්නෙ? යැයි මම ඇසුවෙමි. යන්තම් සිනහවක් පා මා වැළඳගෙන නොදොඩා සිටියා විනා පිළිතුරු දීමේ වුවමනාවක් ඇයට නොවිණ නිරෝෂිනී මට නොකියන රහසක් හිතේ තබාගෙන සිටියාය යැයි මම වරෙක සිතුවෙමි.